පරණ කඩදාසි සුවඳ අස්සෙන් ඒ දවස් වල ඔබේ ළඟ තිබුණු මත් ගන්වන සුළු විලවුන් සුවඳ දැනෙනවා. හිත පත්ලේ වළලලා දාපු අතීතයක මතකයන් බොහොම හෙමින් සීරුවේ හීනි වේදනාවක් මතු කරමින් ඇහැරෙනවා. ඔබේ ළඟන්නා සුළු සිනහව ආයෙම වරක් පෙනී නො පෙනී යනවා. රතු පාට බයිසිකලයක නැඟිලා ඔබ පසු පස උදේ හවස ගාටපු දවස් හීනයක් වගේ ආයෙම හිතේ ඇඳෙනවා.
“උඹට කවදාවත් ඕක හරියන්නෑ බං” ඒ දවස් වල මගේ මිතුරෙක් මට මන්තරයක් වගේ මතුරන්න පටන්ගෙන තිබුණා. නමුත් මගෙ හිත ඔබ ළඟ වගේ ම ඔබේ හිතත් මං ළඟ නතරවෙලා බව අපි දැනගෙන හිටියා.
“…ඔබේ කතා ලඟ
සිත නැවතුනු දා
ප්‍රේමය හැඳින්නෙමි…”
කාබන් තීන්ත බොඳ වුණු ඔබේ ඒ බෝල ගැහැණු අකුරු පරණ කඩදාසියට ඇලිලා තියෙන්නෙ ගලවගන්න බැරි තරම් තදින් කියලා මට හිතෙනවා. ඒවා පිටු වලට උරාගෙන..! හරියට තාමත් ඒ පිටු අස්සෙ දැනෙන ඔබේ ලැවැන්ඩර් විලවුන් සුවඳ වගේ. තවත් කාලයක් ගෙවිලා ගියාම මේ සුවඳත්, බෝල අකුරුත් ස්ථිරව මැකිලා යන බව මම අත්දැකීමෙන් දන්නවා. හරියට ඔබ මගෙන් මිදිලා ගියා වගේ, හෙමිහිට.
“සොඳුරිය.. කාලය කොතරම් නපුරුද
දිවි හිමියෙන් කඳුළැලි පුරවාගෙන
රැකගත් ආලය උදුරාගෙන ගිය
කාලය කොතරම්… නපුරුද සොඳුරිය”
ඔබ ම අහන්නට බල කළ ගීතය ජංගම දුරකථනයේ නාද වනවා. ගෙවුණු දින අතර, මූසල සීතල රැයක අපේ කතාබහ ආයෙම මතකයට නැඟෙනවා.
“ඉස්සර වගේ මට කතා කරන්නෙ නැහැ දැන්. කැම්පස් එකේ ඇතිනෙ ලස්සන ගෑණු ළමයි”
-“එහෙම දෙයක් නෙවේ. මට වැඩ. ඒකයි.”
“මහන්සියි මං නිදාගන්නවා.”
කාලය විසින් ප්‍රේමය විඩාපත් නොවිය යුතු බව දවසක් ඔබ ලිව්වා. කාලය විසින් කවදාවත් ප්‍රේමය විඩාපත් කරේ නැහැ. කාලය විඩාපත් කළේ මිනිස්සුන් ව. අසීරු තැන් වලදී ප්‍රේමය අතහැරුණෙ විඩාපත් වුණු මිනිස්සු අතින්. ඔබට තිබුණේ තව ටික කාලයක් විඩාපත් නොවී අල්ලගෙන ඉන්න.
නමුත් ඔබ මා ගිවිසගත්තේ මෙහෙම. මේ පිටු වල ඔබ එදා ලියූ විදියටම;
“නන්නාඳුනන ලෙසින් මඟතොට යළිත් හමුවෙලා
මහමෙර හිසින් දරාගෙන අපි යමු දුරස් වෙලා….”
ඉන්පසු මඟ තොට හමු වූ හැම දවසක ම ඔබ නාඳුනන විදියට ගියේ තාමත් හිතේ මා ගැන ප්‍රේමය දරාගෙන ද? ඔහු අතින් අල්ලාගෙන ගියේ, මා සිතින් දරාගෙන ද? ඇත්තක්ය කියල හිතන්න කැමැති වුණත් ඒ ඇත්ත නොවන බව මම දන්නවා. ඔබ ගැන මම හොඳින් දන්නවා.
“තාම මං නිසා විඳවනවද? තාමත් ඔයා එතනමද?”
-“නැහැ. විඳවපු දවස් ගෙවිලා ගිහිං. මං එතනින් ගොඩක් දුර ආවා.”
“ආයෙමත් හැරිලා එන්න පුළුවන් දුරකට ද?”
-“නැහැ. ආයෙම හැරිලා එන්න බැරි තරම් දුර.”
ඇමතුම විසන්ධි වෙලා බොහෝ වෙලාවක් ගිහිං. අවසන් කෙටි පණිවිඩයටත් පසුව ඔබ තාම හඬන බව මම දන්නවා. තවමත් ඔබේ කවි කතා පොතට, ඒ පිටු අතර තියෙන ඔබේ සුවඳට මම ආදරය කරන බව ඔබ නො දන්නවා ඇති. නමුත් ආදරය කිරීමත් හිමි කරගැනීමත් දෙකක් බව මම ඉගෙනගෙන හුඟක් කල්. මට ඔබට ආදරය කළ හැකියි. නමුත් මට නැවත ආ නොහැකියි. මන්ද, විඩාපත් වුණු දවසක ඔබ ආයෙමත් මාව හැර යන බව මම දන්නවා.
තරු අතරින් කණාමැදිරි එළියක් වෙන්වෙලා ඇවිත් ඔබේ අකුරු මත වැටෙනවා. තාමත් අසම්පූර්ණ ඒ පොතේ පිටු අතර ලැවැන්ඩර් සුවඳ මැකිලා යන්න තියෙන්නෙ තව ටික දවසයි. නමුත් මේ කවි පොතට අසම්පූර්ණ නැති අවසානයක් ඕනෑම බව මට හිතෙනවා. මෙහෙම;
“තරු එළියෙන් රුදු රාත්‍රී කාලයේ
දැඩි සිතකින් දුරු ගමන යමි ඉතින්
කිසි දින අපි හමු නො වන බව දනිම්
සිහිනය මිය යා යුතුය මේ ලෙසින්”
