සිහිනය මිය යා යුතු ය මේ ලෙසින්

පරණ කඩදාසි සුවඳ අස්සෙන් ඒ දවස් වල ඔබේ ළඟ තිබුණු මත් ගන්වන සුළු විලවුන් සුවඳ දැනෙනවා. හිත පත්ලේ වළලලා දාපු අතීතයක මතකයන් බොහොම හෙමින් සීරුවේ හීනි වේදනාවක් මතු කරමින් ඇහැරෙනවා. ඔබේ ළඟන්නා සුළු සිනහව ආයෙම වරක් පෙනී නො පෙනී යනවා. රතු පාට බයිසිකලයක නැඟිලා ඔබ පසු පස උදේ හවස ගාටපු දවස් හීනයක් වගේ ආයෙම හිතේ ඇඳෙනවා.

“උඹට කවදාවත් ඕක හරියන්නෑ බං” ඒ දවස් වල මගේ මිතුරෙක් මට මන්තරයක් වගේ මතුරන්න පටන්ගෙන තිබුණා. නමුත් මගෙ හිත ඔබ ළඟ වගේ ම ඔබේ හිතත් මං ළඟ නතරවෙලා බව අපි දැනගෙන හිටියා.

“…ඔබේ කතා ලඟ

සිත නැවතුනු දා

ප්‍රේමය හැඳින්නෙමි…”

කාබන් තීන්ත බොඳ වුණු ඔබේ ඒ බෝල ගැහැණු අකුරු පරණ කඩදාසියට ඇලිලා තියෙන්නෙ ගලවගන්න බැරි තරම් තදින් කියලා මට හිතෙනවා. ඒවා පිටු වලට උරාගෙන..! හරියට තාමත් ඒ පිටු අස්සෙ දැනෙන ඔබේ ලැවැන්ඩර් විලවුන් සුවඳ වගේ. තවත් කාලයක් ගෙවිලා ගියාම මේ සුවඳත්, බෝල අකුරුත් ස්ථිරව මැකිලා යන බව මම අත්දැකීමෙන් දන්නවා. හරියට ඔබ මගෙන් මිදිලා ගියා වගේ, හෙමිහිට.

“සොඳුරිය.. කාලය කොතරම් නපුරුද

දිවි හිමියෙන් කඳුළැලි පුරවාගෙන

රැකගත් ආලය උදුරාගෙන ගිය

කාලය කොතරම්… නපුරුද සොඳුරිය”

ඔබ ම අහන්නට බල කළ ගීතය ජංගම දුරකථනයේ නාද වනවා. ගෙවුණු දින අතර, මූසල සීතල රැයක අපේ කතාබහ ආයෙම මතකයට නැඟෙනවා.

“ඉස්සර වගේ මට කතා කරන්නෙ නැහැ දැන්. කැම්පස් එකේ ඇතිනෙ ලස්සන ගෑණු ළමයි”

-“එහෙම දෙයක් නෙවේ. මට වැඩ. ඒකයි.”

“මහන්සියි මං නිදාගන්නවා.”

කාලය විසින් ප්‍රේමය විඩාපත් නොවිය යුතු බව දවසක් ඔබ ලිව්වා. කාලය විසින් කවදාවත් ප්‍රේමය විඩාපත් කරේ නැහැ. කාලය විඩාපත් කළේ මිනිස්සුන් ව. අසීරු තැන් වලදී ප්‍රේමය අතහැරුණෙ විඩාපත් වුණු මිනිස්සු අතින්. ඔබට තිබුණේ තව ටික කාලයක් විඩාපත් නොවී අල්ලගෙන ඉන්න.

නමුත් ඔබ මා ගිවිසගත්තේ මෙහෙම. මේ පිටු වල ඔබ එදා ලියූ විදියටම;

“නන්නාඳුනන ලෙසින් මඟතොට යළිත් හමුවෙලා

මහමෙර හිසින් දරාගෙන අපි යමු දුරස් වෙලා….”

ඉන්පසු මඟ තොට හමු වූ හැම දවසක ම ඔබ නාඳුනන විදියට ගියේ තාමත් හිතේ මා ගැන ප්‍රේමය දරාගෙන ද? ඔහු අතින් අල්ලාගෙන ගියේ, මා සිතින් දරාගෙන ද? ඇත්තක්ය කියල හිතන්න කැමැති වුණත් ඒ ඇත්ත නොවන බව මම දන්නවා. ඔබ ගැන මම හොඳින් දන්නවා.

“තාම මං නිසා විඳවනවද? තාමත් ඔයා එතනමද?”

-“නැහැ. විඳවපු දවස් ගෙවිලා ගිහිං. මං එතනින් ගොඩක් දුර ආවා.”

“ආයෙමත් හැරිලා එන්න පුළුවන් දුරකට ද?”

-“නැහැ. ආයෙම හැරිලා එන්න බැරි තරම් දුර.”

ඇමතුම විසන්ධි වෙලා බොහෝ වෙලාවක් ගිහිං. අවසන් කෙටි පණිවිඩයටත් පසුව ඔබ තාම හඬන බව මම දන්නවා. තවමත් ඔබේ කවි කතා පොතට, ඒ පිටු අතර තියෙන ඔබේ සුවඳට මම ආදරය කරන බව ඔබ නො දන්නවා ඇති. නමුත් ආදරය කිරීමත් හිමි කරගැනීමත් දෙකක් බව මම ඉගෙනගෙන හුඟක් කල්. මට ඔබට ආදරය කළ හැකියි. නමුත් මට නැවත ආ නොහැකියි. මන්ද, විඩාපත් වුණු දවසක ඔබ ආයෙමත් මාව හැර යන බව මම දන්නවා.

තරු අතරින් කණාමැදිරි එළියක් වෙන්වෙලා ඇවිත් ඔබේ අකුරු මත වැටෙනවා. තාමත් අසම්පූර්ණ ඒ පොතේ පිටු අතර ලැවැන්ඩර් සුවඳ මැකිලා යන්න තියෙන්නෙ තව ටික දවසයි. නමුත් මේ කවි පොතට අසම්පූර්ණ නැති අවසානයක් ඕනෑම බව මට හිතෙනවා. මෙහෙම;

“තරු එළියෙන් රුදු රාත්‍රී කාලයේ

දැඩි සිතකින් දුරු ගමන යමි ඉතින්

කිසි දින අපි හමු නො වන බව දනිම්

සිහිනය මිය යා යුතුය මේ ලෙසින්”

කදෝකිමි

ජීවිතේ දවසක ඔබ බිඳෙනවා. ඔබේ ඇතුළාන්තයේ දීප්තිය නිවෙනවා. තරු දහසක් මැද වුණත්, එහෙම දවසක ඔබට කළුවර ⁣වෙනවා.

එහෙම රැයක ඔබ දියවෙලා යනකොට, දිලිහෙන්න තැනක් හොයාගෙන යන කදෝකිමියෙක් ඔබේ කළුවර ඇතුළෙ ලැගුම් ගන්නවා. ඔබ ව ආදරෙන් වැළඳගන්නවා. ඔබ වෙනුවෙන් ඇවිලෙනවා. ඉතිං ඔබ ආයෙමත් දිලිහෙනවා.

ආලෝක වර්ෂ දහස් ගණනක දුර ඉඳන් ඇවිලෙන තරු වලට ආදරය කරලා උන් ආදරය වෙනුවෙන් කඩා වැටෙන්නෙ නැති බව දැනන් අපි හිත රිදවගත්තම, අපේ අස්සට ඇවිත් අපිව එළිය කරන එහෙම කදෝකිමියෙක්…!

හැම ජීවිතේකට ම කවදහරි දවසක එහෙම කදෝකිමියෙක් ඕනෙ වෙනවා. ඔබේ ආත්මයේ සිදුරු වුණු තැනින් රිංගලා ඇවිත් හද⁣වතේ ලැගුම් ගන්න පුළුවන් කෙනෙක් ඔබට ඕනෙ වෙනව. ඔ⁣බේ කළුවර නිවන්න නම් ඔබට ඉහළින් තරුවක් වෙලා පායනවට වඩා ඔබේ හදවතට රිංගලා ඒකෙ පැලපදියම් වෙන එක වැඩියෙන් සුදුසුයි කියලා උන් දන්නවා.

එහෙම කදෝකිමියෙක් ඔබේ ළඟ නැවතුණාම හැමදාටම උන් වෙනුවෙන් ඒ ඉඩ තියාගන්න. මොකද රෑ ගෙවිල ගිහිං ඉර පායද්දි උන් ගෙ එළිය නිවෙනවා. ඊටපස්සෙ උන්ට අපිව ඕනෙ වෙනවා.

Love back! ආපිට ආදරය කරන්න. මිනිස්සු ජිවත්වෙන්නෙ එහෙම.

අපි කතා කරොත් මේ රෑ නාස්ති වේවි ද?

කහ පාට ඔබට ඔය තරම් ලස්සන ඇති කියලා මම මීට කලින් දැනගෙන හිටියෙ නැද්ද? නැත්නම් මේ හිරිගඩු පිපෙන හීතල එක්ක මුහු වුණු උණුසුම් කෝපි සුවඳ විසින් සිහින් ව ඇහැරවන සරාගික හැඟීමක් ද? ඔබ ව අද ඔය තරම් ලස්සනට පේන එක…

තරු අතර කොහේ හරි තැනක හිත තියාගෙන ඔබ කෝපි තොල ගාන විදිය පවා මට මතක් කරන්නෙ ඒ ඉස්සර දවස්. පොපියන හැඟුම් පිරුණු දවස්.

-“ලියෝ ඔයා පුදුම තරම් නිශ්ශබ්දයි..” විනාඩි ගණනක නිහඬතාවය බිඳුණේ ඔබේ කටහ⁣ඬින්.

“මේ වගේ රෑකට ඕනේ නිශ්ශබ්දතාවය තමයි නේද?”

-“අපි කතා කරොත් මේ රෑ නාස්ති වේවිද?”

“ඒක තීරණය වෙන්නෙ අපි කතා කරන දේ මත සාරා”

ඔබ ඊට පිළිතුරු නොදී යළිත් නිහඬතාවයක. උපැස් යුවලට යටින් ඔබේ දිගු ඇස් පිහාටු හෙමින් වැහෙනවා. කෝපි සුවඳ විඳගන්න ක්ෂණයකට පසු ආයෙම ඔබේ ඇස් තරු දිහා බලනවා.

-“මං කවදාවත් හිතුවෙ නෑ. ආයෙම ඔයාව මෙහෙම මුණගැහේවි කියලා.”

“මේක පුංචි රටක්, අපි හැමෝම ආයෙම කවදහරි මූණට මූණ හමුවෙනවමයි”

-“ඒත් අවුරුදු දහයකට පස්සෙ… එච්චර කාලයක් ගියාට පස්සෙ ඕන කෙනෙක් බලාපොරොත්තු අත්හැර ගන්නවා.”

සරසවියෙ හිටි කාලෙදි වගේම ඔබ තාමත් ඉක්මනින් අත හරිනවා. ඉක්මනින් හිත රිදවගන්නවා. අවුරුදු දහයකට පස්සෙ සමහරවිට ඔබ තාමත් ඒ හිටිය සාරාම වෙන්න ඇති.

“සමහර විට අවුරුදු දහයකට පස්සෙත් බලාගෙන ඉන්න අය ඇති”

මම ඔබෙන් පිළිතුරක් බලාපොරොත්තු වුණ නමුත් ඔබ පිළිතුරක් නොදෙන වගත් මම දැනගෙන හිටියා.

වැස්ස හෙමි හෙමින් තුරල් වෙනවා. තෙමුණු තාර පාර අයිනෙන් මඩ ඇලි ගලාගෙන බහිනවා. ඉක්මන් ගමනින් ඇවිදින කාගෙදෝ ලෙදර් සපත්තු හඬක් ටික ටික ළංවෙලා ඇවිත් ආයෙම ටික ටික ඈත්වෙනවා. වැස්සකට පස්සෙ තියෙන නැවුම් හුළඟක එතෙමින් ඔබ එක්ක මේ වගේ රැයක ඇවිද ගිය අතීතය ආයෙමත් මතකයට නැඟෙනවා.

“මේ වගේ රෑ වල් තියෙන්නෙ නිශ්ශබ්දව විඳින්න. මිනිස්සු දන්නෙ නෑ කතා කරන්න ඕනෙ මොනාද නැත්තෙ මොනාද කියලා. වරද්ද ගන්නවා. ඒ නිසා ලස්සන දවස්, ලස්සන මොහොත වල් නිකං නාස්ති වෙලා යනවා.”

-“ඒ වුණාට සමහර දවස් තියෙනවා මිනිස්සුන්ට කත කරන්න තිබ්බ, කතා නොකර හිටිය. සමහර විට පස්සෙ කාලෙක පසු තැවෙන.”

ඔබත් ඒ අතීතයේ පොපියන හැඟුම් පිරුණු දවසක මතකයේ බව මට දැනෙනවා. එදා මම නිහඬව ඔබට යන්න දුන් එක වැරදි ද? මට ඔබ ව නවත්ත ගන්න තිබුණ ද? ප්‍රේමයත් මිත්‍රත්වය ත් පිළිබඳ ඔබේ ආකල්ප මට තවමත් නො තේරෙනවද?

“සාරා පසුතැවෙනවද? මම එදා මොකුත් නොකියා හිටි එකට…”

-“මං හුඟක් කල් යනකං හිතාගෙන හිටියෙ, යමක් කිව යුතුව තිබුණෙ ඔයා කියලා. ඒත් පස්සෙ කාලෙක මට හිතුණා, සමහර විට කතා කළ යුතුව තිබු⁣ණෙ මම කියලා”

මං හිතන්නේ, මට කවදාවත් ඔබේ කතා වලට උත්තර දෙන්න තේරුණේ නැහැ. කතා කරමුය කියල ඔබ කීවට, මම කැමති අපි අතරෙ තියෙන මේ සුව පහසු නිහඬ බවට. දේශන ශාලාවේ එක ළඟ ඉඳගෙන නිහඬව ඔබව වින්ද දවස් වල ඉඳලම, මම මේ නිශ්ශබ්දතාවයට ආදරෙයි.”එදත් ඔයා අද වගේම බලාගෙන හිටියෙ ඩිලන් එනකං. මතකද?”

-“හ්ම්ම්… මං හැමදාම එහෙමයි නේද? එයා එනකං බලා ඉන්නව. සමහර විට මගේ දෛවය ඒක වෙන්නැති. එයා එනකං බලා ඉන්න එක.” “සමහර විට මගේ දෛවය, එයා එනකං තනියම බලාගෙන ඉන්න ඔයාගෙ තනි මකන එක වෙන්නැති”

තාරකා වල එළියට දිලිසෙන කඳුළු ඔබේ ඇස් වල පිරෙන හැටි මම බලාගෙන හිටියා. ඒ දවස් වල වගේම තාමත් පුංචිම දේකටත් සංවේදී ඔබේ හදවත මාව ආයෙ ආයෙම ඔබ වෙතම අඳිනවා. ඒ ආකර්ෂණයෙන් මම කිසිම දවසක මිදෙන එකක් නැහැ.

කඳුළු වලට ඔබ ගලාගෙන යන්නට ඉඩ දීලා. කවදාවත් නොකළ විදියට ඔබ මගේ ඉස්සරහා මගේ සඳළුතලයේ ඉඳගෙන වේදනාවන්ට ඔහේ ගලාගෙන වැටෙන්න ඉඩ දීලා.

“ඔයා දුක්විය යුතු නැහැ කියලා ඔයා දන්නවා සාරා.”

-“නැහැ. මම දුක් වෙන්න ඕනෙ. මම දුක් වෙන්න ඕනෙ ඔයාගෙ හිත හැදෙන්න වචනයක් නො කියා යන්න ගිය එක ගැන. මම දුක් වෙන්න ඕනෙ, සමහර දේවල් හංගගෙන හිටි එක ගැන..”

“මොනවද, ඔයා හැංගුවේ?”

නමුත් ඔබ වේදනාත්මක හැඟීමකින් තෙරපෙමින් නිහඬව යළිත් තරු දිහා බලාගෙන.

-“ලියෝ… “අපි” කියල දෙන්නෙක් ගැන ඔයා හිතන්න කලින්, මම ඒ “අපි” ගැන හුඟ කාලයක් හිතුවා. ඒක හිතේ කොනක පුංචියට ඇතිවෙලා දවසින් දවස වැඩිච්ච හැඟීමක්. ඒත් ඒ දවස් වල කොයිතරම් ලස්සන තරු ඔයාගෙ ජීවිතේට ඇවිත් ගියාද? මම විතරක් ඔයාගෙ ජීවිතේ තැනක ඇතුළු වෙන්නවත් පිට වෙන්න වත් බැරුව බලාගෙන හිටියා. ගොඩක් අතරමං වෙලා. ඩිලන් හොයාගත්තේ එහෙම අතරමං වෙලා හිටිය මාව.”

වැහි වළාකුළු වලට නොපෙනෙන්න හැංගුණ සඳ පලුව ආයෙම දිලිහෙමින් තිබුණා. ජීවිතේ වටිනාම දේවල් පිළිබඳ ව අන්ධයෙකු සේ හැසිරී ඇති මම කිව යුත්තේ කුමක්දැයි නොදැන නිරුත්තරව වේදනාවෙන් පීඩිතව සිටියා.

කාලයට යළි පසු පසට ගමන් කළ හැකිද?රැහැයියෙක්ගේ අමිහිරි නාදයෙන් රාත්‍රියේ නිහඬතාවය බිඳුණා. ඔබ තවමත් හඬමින් සිටින අතරේ මම හිටියේ ම අපට මඟ හැරුණු ජීවිතය ගැන සිතමින්. බොහෝ සුන්දර විය හැකිව තිබූ අවුරුදු ගණනාවක්…! නමුත් අපි අදත් නිහඬව බලාගෙන.

ඩිලන් ඈ රැගෙන යන්නට එන විට අපි අතර නිහඬව ගෙවී යන දහවන මිනිත්තුවත් අවසන්ව තිබුණා. පශ්චාත්තාප⁣යෙන් පීඩිතව වේදනාබර ඇස් ඇතුව ඔබ යා යුතු නැහැ. නමුත් කිව යුත්තේ කුමක්දැයි මම තවමත් ගළපගෙන නැහැ.

-“ලියෝ, ඉතිං මේ රාත්‍රිය නාස්ති වුණා ද?”

මම ඔබේ දිලිසෙන දෙනෙත් දෙස තවත් මොහොතක් බලාගෙන හිටියා. ඔබේ ප්‍රශ්නය මම යළි යළිත් මගේ හදවතින් ඇසුවා.

“නැහැ සාරා. මේ තමා අපි නාස්ති නොකරපු එකම රාත්‍රිය. දැන් යන්න.”

ජානු,

ජානු,

මම හැම විටම නිරුත්තර වීමි. හැමවිට ම. ඔබේ පළමු ස්පර්ශයේ දී මම සිහි මඳ ව බිම ඇද වැටුණෙමි. හදවතක් ඒ තරම් වේගයෙන් ස්පන්දනය කළ හැකි ඒ හැඟීම කුමක්ද? ඔබ අභිමුඛ ව මා මෙතරම් දුර්වල මන්ද? ප්‍රේමයේ බැඳීම යනු මෙය ද?

අපි දෙ මඟක නො ගියෙමු. අපි එක ම මඟ වෘත්ත⁣යක ගියෙමු. මම ඔබ සොයා ත් ඔබ මා සොයා ත් එක ම අචල පරතරයකින් වෘත්තයක යන විට අනන්ත කාලයක් ගෙවුණ ද අපිට අප යළි හමු නො⁣වේ. නමුත් අපි යන්නේ එවන් ගමනක් බව අපි නො දැන සිටියෙමු.

එක් දිනක් මම මගේ පුරුදු මඟ වෙනස් කර, මගේ සීමාවෙන් පිටත පය තැබූ විගස මට යළිත් ඔබ හමුවිණ. ඒ ඔබ නැවතී ආපසු හැරී මා වෙත පැමිණ සිටි බැවිනි. එය කළ යුතු ව තිබුණේ මම ය. එක් වරක් ව්‍යර්ථ වී ගිය ද තව වරක් ආ යුතු ව තිබුණි. මන්ද, ඔබ අවසන් මොහොත වන තෙක් බලා සිටි බැවිනි. ඔබේ මංගල තැල්ල බැඳෙන මොහොතේ ත් ඔබ මා ගැන ම සිතමින් සිටි බැවිනි.

අද ඔබ යළිත් පියඹා යනු ඇත. මම යළිත් මගේ පුරුදු ගමනේ යෙදෙනු ඇත. වෙනස් වූ එක ම දේ නම්, අපි දැන් අපේ කතාවන් දනිමු. අපි දැන් අපේ හදවත් දනිමු.

ඔබ බොහෝ දුර ගොස් ඇති බව දනිමි. නමුත් මම තව ම එතැනයි. ඔබ මා දමා ගිය තැනමයි. ඔබට යළි ආ හැකි බව ද දනිමි. නමුත් ඔබ නො ආ යුතු ය. මන්ද, මම ඔබ ව හිමි කරගැනීමට තරම් උත්සහ නොකළ බැවිනි. රාම්.

මම ඇයට ආදරය කළෙමි

මම ඇයට ආදරය කළෙමි. එය අතීත කාල වාක්‍යයකි.

ගිනිගහන අව්වේ වී ගෝනි දෙක තුනක වී තම්බා වියැලූ; අව්වට කළු ගැහුණු සමැති, දුම් සුවඳ හමන ⁣අළු පැහැ කෙස්සක් තිබූ “මැටි ගෙදර කිරි අම්මා” ට මම ඉතා ගැඹුරින් ආදරය කළෙමි. ඇය හඩු ගැසුණු කළු හැට්ටයකට තද රතු පාට සාරියක් ඇඳ, සාරි පොටින් හිසත්, උඩුකයත් වසාගත්තා ය. නිරුවත් දෙපයින් කැලෑ වල ඇවිද, උයන්නට පළා ද අමු අඹ ද සොයාගෙන ආවා ය. ලා පාට ඔසරි හැඳ තුන්සිය හැට පස් දවසේ වත්තේ පොල් ගස් යටින් උජාරුවට එහෙ මෙහෙ ඇවිදින සුදු අත්තම්මා ට වඩා, කෝම්පිට්ටුව හරි ලස්සන හැඩේට ගන්නා අන්දම කියාදුන් මගේ කිරි අම්මාට මම ආදරය කළෙමි.

“මේකේ මගේ සාරියේ රතු පාට පේන්නැත්තේ මොකද කොල්ලො…?” සිංහල දෙමළ අලුත් අවුරුදු දවසේ චූටි බාප්පා ගේ බලවත් වුවමනාව නිසා ඔහු ගේ කැමරාවෙන් ගන්නා ලද ඡායාරූපය, කිරි අම්මාට ගෙනැවිත් පෙන්වූ දවසේ ඈ එසේ ඇසුවා ය.

“ඕවෑ කළු සුදු ලු. පාට පොටෝ ගන්න ඒවා කොළඹ දිහාවෙලු තියෙන්නෙ.” අමු අඹයක් ලොවමින් මම ඇයට කීවෙමි. නමුත් මා කියන දේ ගැන ඇයට වගක් නැත්තා සේ ය. නිහඬව තවමත් සේයාරුව නිරීක්ෂණය කරන ඒ මුහුණේ රේඛා වඩාත් සුන්දරව පෙනිණ.

“උඹේ හිනාව නං ඒ හැටියෙන්ම තියෙනවා… හහ් හහ්..” ඇගේ සිනාවෙන්, බුලත් විට නිසා රතු ගැන්වුණු මුඛය නිරාවරණය විය. එවිට ඈ ගැන ඇති ⁣ආදරය වඩාත් තදින් දැනෙන්නට ගනී.

කිරි අම්මා මගේ සෙල්ලම් වල සහකාරිය වූවා ය. මගේ කුඩාවියේ රසමුසු දේවල් බෙදාගත් තැනැත්තිය වූවා ය. මගේ දවසින් වැඩි හරියක් ගෙවුණේ ඇගේ මැටි ගෙදර ය.

දිනක් මැටි ගෙදරට “සෙල්වා” පැමිණ සිටියේ ය. සෙල්වා කිරි අම්මා ගේ මුහුණුවර සහ ඈ මෙන්ම වූ කළු පැහැ සමක් ඇති හැඩි දැඩි තරුණයෙක් වූවේ ය. ඔහු එළි පහළියට පැමිණියේ කලාතුරකින් වුවද අප්පච්චී සහ අම්මා සෙල්වා ගැන දැන සිටියෝ ය.

“ඒකා අහිංසකයෙක්…” අප්පච්චි ගේ අදහස එසේ විය. උළුවස්සට හේත්තු වී සිටි අම්මා ගේ මුහුණේ වූ කරදරකාරී පෙනුම ඉන් වෙනස් වූ බවක් නොපෙනිණ.

“කිරි පොවලා තියාගෙන හිටියට නයා නයාමයි…” අම්මා කීවා ය.

“ඔය මනස්ගාත තියල ගිහිං නිදාගන්න.” අප්පච්චිගේ කටහඬ එවර වඩාත් උස්ව සහ සැරපරුෂ ව නැඟිණ. අම්මා මගේ පොතත් පාට කූරුත් උදුරගෙන ගොස් මේස ලාච්චුවට දමා වැසුවා ය. කිරි අම්මා ගේත් මගේත් ගෙදර උළු වහලය කපාගෙන කළු පාට කූරෙන් තද ඉරක් ඇඳුණු බව මම යන්තමින් දුටුවෙමි.

සෙල්වා පැමිණ සතියක් යන්නට මත්තෙන් අපේ ගෙදර පරික්ෂා කළ යුතු බව කියමින් පොලිසිය ද යුධ හමුදාවේ නිලධරයන් ද පැමිණියහ. සුදු අත්තම්මා මා කැඳවාගෙන ගොස් ඇගේ කාමරයේ තබාගත්තා ය. නමුත් මට මගේ කිරි අම්මා ළඟට යන්නට වුවමනා විය.

සෙල්වා යමක් කියා කෑගැසු අතර, වෙඩි හඬ දෙකක් ළඟ ළඟ ඇසිණ. කිරි අම්මා කෑ මොර දෙන හඬ ද අම්මා ගේ වේදනාබර හැඬුමක් ද ඇසිණ. තුන්වන වෙඩි හඬ ඇසෙන විට මම සුදු අත්තම්මා ගේ ග්‍රහණයෙන් මිදී මිදුලට දිව ගියෙමි.

ගෙමිදුල ගමේ මිනිස්සුන්ගෙන් පිරෙන්නට විය. තවත් මොහාතක් ගතවන්නට පෙර මැටි ගෙදර පොල් අතු වහලය ගිනි ගන්නට පටන්ගත්තේ ය. බිම වැටී හඬමින් සිටි කිරි අම්මා ඒ බව නොදැන සිටි අතර කවුරුන්දෝ පැමිණ ඇයව එතැනින් ඉවතට ඇදගෙන ගියේ ය. එදා අප්පච්චි අපේ ගෙයි මිදුලේ දී ම ⁣මිය ගියේ ය. කිරි අම්මා යළි මැටි ගෙදරට නාවා ය.

මම ඇයට ආදරය කළෙමි. එය අතීත කාල වාක්‍යයකි.

යුද්ධය, සංග්‍රාම භූමියේ සිට අපේ නිස්කලංක ජීවිත වෙත ද බූවල්ලෙකු පරිද්දෙන් හිංසාකාරී අඬු දිගු කළේ ය. ඒවායින් අපේ අසරණ ජීවිත තුවාල කළේ ය. නො තේරුම් ළපටි වයසේ දී මම කිරි අම්මාත් සෙල්වා ත් අයත් දෙමළ ජාතියට වෛර කරන්නට පටන්ගත්තෙමි. මම කිරි අම්මා ව අමතක කළෙමි.

ඉරී ගිය පොතක පිටු අතර ඇගේත් මගේත් සේයාරුව සුරක්ෂිතව පැවතිණි. තුවාල සුව වන්නට කල් ගත වූ බැවින්, අවුරුදු හතළිහකට පසු කිරි අම්මා සොයා මම අද ගමට ආවෙමි.

අප්ච්චී මිය ගිය පසු අපි හැර දමා ආ ගෙදර කැලෑ වී ඇත්තේ ය. මැටි ගෙදර තිබූ තැන සුද්ධ පවිත්‍ර කර අලුතින් පැළක් අටවා ඇත. මගේ හදවත ගැහෙන්නට විණ. ඇය යළි පැමිණ ඇත් ද?

නමුත් ඒ ඈ නොවුණි. අසරණ කුඩා පවුලක් හය මසකට පෙරාතුව පැමිණ මේ පැළ අටවාගෙන තිබිණ. ඔවුන් කිරි අම්මා ගැන නො දත් හ. ගම කනපිට හැරී තිබිණ. අප්පච්චී ගැන දන්නා මිනිස්සු එහි සිටියේ එකෙකු හෝ දෙදෙනෙකි. එවැන්නෙක් මට කඩමණ්ඩියේ දී කිරි අම්මා ගැන කීවේ ය.

“ඔය කියන්නෙ… විදානේ මහත්තයලෑ ගෙදර වැඩට හිටිය දෙමළ මනුස්සයා ගැන නේද…? අර සිද්ධිය වෙලා මෙහෙන් ගියාට පස්සෙ, දැනට අවුරුදු දහයකට විතර කලින් ඕං දවසක ගෑනි ආයෙ ආවා විදානෙ මහත්තයල ගැන අහගෙන. දැන් මෙහෙ නෑ කිව්වම උන්දෑ කම්පා වුණා. ටික දොහක් මෙහෙ පිනට ඉල්ලගෙන කකා ඉඳලා දවසක් මේං මේ පිල අයිනෙම පණ ගිහිං තිබ්බේ….”

මහල්ලා තවත් මොනවාදෝ දොඩවන්ට වූවේ ය. නමුත් මගේ සිත ඒ වෙත නොවී ය. තුවාල සියල්ලම සුව වී මා ගමට පැමිණිය යුතු ව තිබුණේ අවුරුදු දහයකට පෙර ද? ඇත්තෙන්ම නම්, තුවාල කිසිවක් කවදාවත් ඇති නො විය යුතු ව තිබුණි.

කිරි අම්මා තවමත් මා තුරුළු කරගෙන සෙනෙහසින් සිපගනිමින් සිටින්නී ය. යුද්ධය විසින් ලෝකයෙන් උදුරාගත් අනන්ත වූ ආදරයේ ක්ෂණයන් අතරට එක් නොවූ මේ ක්ෂණය, යළි විඳගන්න නොලැබෙන නමුත් වෙනස් නොවන, සේයාරුවක සුරක්ෂිත වූ, මේ එකම එක ක්ෂණය පමණක් මට ඉතිරි ව ඇත්තේ ය. මම කිරි අම්මාට වෛර කළ කාලයේ ත්, මේ සේයාරුව තුළ මම ඇයට ආදරය කරමින් සිට ඇත්තෙමි. ඇය ද මට ආදරය කරමින් සිටි⁣යා ය.

⁣දැන් නැවතත්, මම ඇයට ආදරය කරන්නෙමි. එය වර්තමාන කාල වාක්‍යයකි. එමෙන්ම එය අනාගතය ද වේ.

මගේ මල(ර්)

ආදරේ දේදුන්නකට හදන්න හැකිද පාලමක්

මේ කුඩා කුහුඹුවා වෙත…

අපට හැක පිච්ච මල් අතුරන්න පලසකට

වළාකුළු නැතුවාට මදිපාඩු මකයි නෑ සැක

තරු වලට වඩා ඔය වරලසට

ලස්සනයි මේ පිච්ච මල් දම

අමතක කළ හැකිද නුඹ

අමුම අමු දෙමළ කෙල්ලක් වග

දරා ඉන්නට හැකිමයැයි

පොරොන්දුත් දුන් පසුව මම

සොඳුර නුඹ මොකට වෙනවාද දුක

අමතකම නම් යන්න මොනව කරන්නද මම

එහෙත් මුදු ප්‍රේමයට

නුඹේ නම තබමි මගෙ මල(ර්)..

Design a site like this with WordPress.com
Get started